Wednesday 31 December 2008

ඇල්ල උඩ ඇල්ල

'ඇල්ල උඩ ඇල්ල'හෙවත් 'මලංකන්ද' ඇල්ල පිහිටා ඇත්තේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ වාසස්ථානයක් බවට ‍‍දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාව‍ට පාත්‍ර ව ඇති බටදොඹ ලෙනට නුදුරිනි.මේ අනුව, දිය ඇල්ල ආශ්‍රිත භූමි ප්‍රදේශය ද ආදි මානවයාගේ නිරන්තර ඇසුරට ලක් වු පෙදෙසක් ලෙස සැලකිය හැකිය.කොළඹ රත්නපුර මාර්ගයේ පණුකැරූපිටිය මන්සන්දියෙන් වමට හැරී කිලෝ මීටර් 3 1/2ක් පමණ මග ගෙවා ගිය විට හමුවන ඇල්ලේ උඩ ග්‍රාමයේ,නිම්මහවෙල වතුයායේ මෙම අති රමණිය දිය ඇල්ල පිහිටා ති‍බේ.මලංකන්ද විද්‍යාලයට කිලෝ මීටර් 1/2ක් පමණ දුරින් පිහිටි දිය ඇල්ල නැරඹීමට යායුතුව ඇත්තේ මලංකන්ද දොළ තරණය කීරීමෙනි.එය තරමක දුෂ්කර වුවත් ආශ්වාද ජනක ගමනකි. දිය ඇල්ලේත් ගම්මානයේත් පිහිටීම ද විශේෂත්ව‍යක් උසුලයි.ගම්මානය පිහිටා ඇත්තේමේ මනරම් දිය ඇල්ලට ඉහළිනි.එම ග්‍රාමයට 'ඇල්ලේඋඩගම'යන පටබැදි නාමය ලැබුනේ‍ මෙම සුවිශේෂී පිහිටීම පදනම් කොට ගෙනය.මෙම දිය ඇල්ල පිහිටා ඇති ස්ථානය අසල අගනා පුරාවස්තු රැසක් තැන්පත්ව ඇති බවට විශ්වාසයක් පවතී.මෙම දිය ඇල්ල දෙසින් ගුප්ත දෝන් කාරයක් දැනුදු ඉදහිට ඇසෙන බව දිය ඇල්ල ආශ්‍රිතව වෙසෙන ගම්මු පවසති.මේ ගුප්ත අදෝනා හඩ ආදිමානවයාගේ ආත්මය විසින් අදෘශ්‍යමාන ව නගන්නා වු හඩේ ප්‍රතිරාවයක්ද?එසේත් නැතිනම් අවට නිදන්ගත ව ඇති පුරාවස්තු රක්නා භෛරව ආදි අමුනුෂ්‍යයන්ගේ බිය ගෙරවිලි ශබ්ද වල රාව ප්‍රතිරාවද?
දිය ඇල්ලට තරමක් ඉහලින් කුඩාවන රොදක් මැද පිහිටා ඇති ජලාවාටයද ගුප්ත බිය දනවන සුළුය.එක්තරා ඈත දිනක මෙම ජලාවාටය තුළ කිඹුලෙකු මැරී සිටිනු දක්නට ලැබුණු බවත් ,ඉක්බිති එම ජලාවාටය 'කිඹුලුවල'නම්න් ව්‍යවහාරයට පැමිණි බවත් තතු දන්නෝ පවසති.උසින් අඩි 65ක්ද පළලින් අඩි70ක් ද වන මහල් දෙකකින් සමන්විත ව කඩා හැලෙන දර්ශනීය දිය ඇල්ලකි.වැසි සමයේදී මෙම දිය ඇල්ල වඩාත්චමත්කාර ජනක වන බව ගම්මු පවසති.අවට ජීවත්වන ගැමි ජනතාව අතර ඉමහත් ප්‍රසාදයට පත්ව ඇති මෙම සුන්දර දිය ඇල්ල තවමත් දුෂණයට ලක් නෙවී පවතින්නකි.මෙම දිය ඇල්ලෙන් එක‍ දිගට ගලා බස්නා මහා ජලකද මගලා දොළ හෙවත් මලංකන්ද දොලට එක්ව ,පසුව මා දොළ සමග පැමිණ කහංගම ප්‍රදේශයෙන් කළුගගට එක් වෙයි.හරිත වර්ණ 'ඇහැටුල්ලා'නම් වු සර්ප වීශේෂය බහුලව වෙසෙන‍ මෙම දිය ඇල්ල ඇසුරින් ,දැනට ප්‍රදේශවාසීන්ගේ ජන අවශ්‍යතා සපුරාලනු පිණිස,ප්‍රජා ජල ව්‍යාපෘතියක්ද පටන් ගෙන ඇත.

1 comment:

Kawshala Technologies said...

ඡායාරූපයක් එහෙම නැද්ද?